විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානය (CERN), රුහුණු සහ කොළඹ විශ්ව විද්‍යාල සමග එක්ව සංවිධාන කරන අධිශක්ති භෞතික විද්‍යා උපකරණ වල අනාවරණ තාක්ෂණයන් සහ යෙදවුම් පිළිබඳ දකුණු ආසියානු වැඩමුළුව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (20) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

2017 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය සහ යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානය අතර අත්සන් තබන ලද අධි ශක්ති භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාත්මක සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතා ගිවිසුම යටතේ දෙපාර්ශ්වය විසින් අධි ශක්ති භෞතික විද්‍යාව පිළිබඳ දැනුම හුවමාරු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ සිදුකරන මෙම වැඩමුළුව මෙවර දකුණු ආසියානු කලාපය වෙනුවෙන්ම සංවිධාන කර තිබීම විශේෂත්වයකි. දකුණු ආසියානු කලාපයේ රටවල විද්‍යාඥයින් සඳහා අධි ශක්ති භෞතික විද්‍යාව පිළිබඳ නවීන විද්‍යාත්මක පර්යේෂණ අවස්ථා වර්ධනය කිරීම වැඩමුළුවේ ප්‍රධාන අරමුණයි.

අධි ශක්ති භෞතික විද්‍යා විෂය ක්ෂේත්‍රයට අදාල වන නවීනතම උපකරණ සහ පර්යේෂණාගාරය යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානය (CERN) සතුවේ. ලෝකයේ බොහෝ මෙම විෂය ක්ෂේත්‍රය හා සම්බන්ධ පර්යේෂණ CERN සමග සහයෝගීතාවෙන් සිදුකරන අතර, ශ්‍රී ලංකාවේ රුහුණු සහ කොළඹ විශ්ව විද්‍යාල ද, මේ වන විට CERN පර්යේෂණාගාරයේ පර්යේෂණ සිදු කරනු ලබයි. ඒ ආකාරයට ඉන්දියාව සහ පකිස්ථානය ද සහයෝගීතා පර්යේෂණ සිදුකරනු අතර දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවල් තවම මෙම තත්වයට ළඟා වී නොමැත.

එබැවින් CERN සමග සහයෝගිතා වැඩසටහන් ක්‍රියාත්මක නොකරන කලාපීය රටවල් වල විද්‍යාඥයින්ට මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ පර්යේෂණ සිදුකිරීමට අවශ්‍ය දැනුම ලබාදීමත්, සහයෝගීතා පර්යේෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවස්ථා විවර කිරීමත්, ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ උපකරණ ස්ථාපිත කිරීම පිළිබඳ දැනුම ලබා දීමත් මෙම වැඩමුළුවෙන් වැඩිදුරටත් අරමුණ කරයි. වැඩමුළුව 20 හා 21 දෙදින පුරා පැවැත්වේ.

මෙම වැඩමුළුව සඳහා CERN ආයතනයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ චාලට් වරකාවුල්ලේ මහත්මිය ඇතුළු CERN ආයතනය විද්‍යාඥයින්, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මොරීෂස් සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් නියෝජනය කරමින් විද්‍යාඥයින් සහ විශ්ව විද්‍යාල සිසුන් වැඩමුළුව සඳහා සහභාගී වේ.

වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි යන මහත්වරුන්, කොළඹ සහ රුහුණු විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් ඇතුළු විද්‍යාඥයන්, රාජ්‍ය නිලධාරීන් විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ‍.

01 02
20 04