ශ්‍රී ලංකා ජනරජය හා කොරියානු සමූහාණ්ඩුව අතර ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ උචිත තාක්ෂණ සංවර්ධන ව්‍යාපෘතියේ සමාප්තිය සනිටුහන් කිරීමේ අවස්ථාව, තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ලී හියොං මහතාගේ විශේෂ සහභාගිත්වයෙන් අද දින (2019.12.10 දින) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී සිදුකෙරිණි.
තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (COSTI), කොරියානු බුද්ධිමය දේපල කාර්යාලය (KIPO) සහ කොරියානු නවෝත්පාදන ප්‍රචලිත කිරීමේ සංගමය (KIPA) සමග එක්ව 2017 වර්ෂයේ දී මෙම උචිත තාක්ෂණ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. කොරියානු සමූහාණ්ඩුවේ තාක්ෂණික සහ මූල්‍ය සහයෝගය මත සිදු වූ එම ප්‍රධාන ව්‍යාපෘතිය යටතේ, මෙරට සමාජීය අවශ්‍යතාව අනුව හඳුනාගන්නා ලද විශේෂ ව්‍යාපෘති දෙකක් සම්පූර්ණ කරන ලදී.

එහි පළමුවැන්න ලෙස හඳුනානොගත් වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රාගාර තුනක් ස්ථාපිත කිරීම සිදුවිය. එහි පළමු ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රාගාරය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රදේශයේ ස්ථාපිත කළ අතර ඉතිරි යන්ත්‍රාගාර සඳහා වන තාක්ෂණික මෙවලම් සියල්ල කොරියානු සමුහාණ්ඩුව විසින් මේ වනවිට ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කර ඇත. ආරච්චිකට්ටුව සහ ගලෙන්බිඳුනුවැව යන ප්‍රදේශවල එම යන්ත්‍රාගාර ස්ථාපිත කිරීමට නියමිතය.

දෙවන විශේෂ ව්‍යාපෘතිය වන ඉවත දමන පොල් කුඩු වලින් පොල් තෙල් නිස්සාරණය කිරීමේ අඩු වියදම් යන්ත්‍ර හඳුන්වාදීම සිදු කෙරිණි. එහි එක් යන්ත්‍රයක් කුලියාපිටිය බටහිර ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර, ඉතිරි යන්ත්‍ර දෙක ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සහ කාර්මික තාක්ෂණ ආයතනය තුළත් ස්ථාපිත කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ සමාප්තිය සනිටුහන් කිරීමේ අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා, KIPO නියෝජ්‍ය අධ්‍යක්ෂ, කිම් හියුංට් මහතා, KIPA උප සභාපති ලී ඩුසෙංග් මහතා, ඇතුළු එම ආයතන වල නිලධාරීන්, තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.





