ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන භූ දර්ශනය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ නිලධාරීන්,  මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අතර උපායමාර්ගික හමුවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය  වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  පසුගියදා පැවැත්විණි.

වෛද්‍ය අංශයේ නවෝත්පාදනයන් වැඩි දියුණු කිරීම උදෙසා  විශ්ව විද්‍යාල සහ රජයේ පර්යේෂණ සහ සංවර්ධන ආයතන අතර පුළුල් සහයෝගීතාවයක් වර්ධනය කිරීම මෙම රැස්වීමේ අරමුණ විය. පර්යේෂණ සඳහා ලබාදෙන අරමුදල් වැඩි කිරීම, සෞඛ්‍ය සේවා සඳහා යෙදුම් (apps) සංවර්ධනය, වෛද්‍ය උපකරණ අලුත්වැඩියා කිරීම, විදේශ  ප්‍රදාන ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය ප්‍රවර්ධනය කිරීම ඇතුළු පුළුල් පරාසයක තීරණාත්මක මාතෘකා මෙහිදී සාකච්ජාවට බඳුන් විය.

ජාතික පර්යේෂණ සභාව (NRC), නවීන තාක්ෂණය පිලිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය (ACCIMT), ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (SLIBTEC) සහ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC) වැනි ආයතන ජෛව වෛද්‍ය නවෝත්පාදනයට සහාය වීම සඳහා ඔවුන් සතුව පවතින ශක්‍යතාවන් ඉදිරිපත් කළ අතර පේටන්ට් බලපත්‍ර ලබාගැනීම සඳහා සහාය, උපකරණ අලුත්වැඩියාව සහ NGS අනුක්‍රම නිර්ණය වැනි ක්ෂේත්‍රවල හවුල්කාරිත්වයන් ස්ථාපනය කරගනු පිණිස  විශ්ව විද්‍යාල සඳහා ඇරයුම් කෙරිණි.

මෙහි දී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා,

ඒකාබද්ධ පර්යේෂණ සඳහා සංවිධානාත්මක වේදිකා ස්ථාපිත කිරීමේ වැදගත්කම, පර්යේෂණ ප්‍රදාන ලබාගැනීම සඳහා වැඩි ප්‍රවේශයක් සලසා දීම සහ සංවර්ධන ප්‍රමුඛතා  සමඟ අනුකූලත්වය දක්වන ජාතික පර්යේෂණ වැඩසටහනක අවශ්‍යතාව අවධාරණය කරන ලදි. විදේශ පර්යේෂණ ප්‍රදාන සහ අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමේ ක්‍රියාවලීන් විධිමත් කිරීම සඳහා අමාත්‍යාංශ සහ විශ්ව විද්‍යාලයන්හි අදාළ පාර්ශ්වකරුවන් ඇතුලත් ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට ඔහු යෝජනා කළේය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු,

"මෙම සහයෝගීතාවය විද්‍යාව පිළිබඳව පමණක් නොවේ - එය අපගේ ජාතියේ අනාගත සෞඛ්‍ය සහ ආර්ථික යහපැවැත්ම සුරක්ෂිත කිරීම පිළිබඳවද ඉලක්ක වේ. තිරසාර හවුල්කාරිත්වයන් සහ ආයතනික නවෝත්පාදනයන් හරහා අපි, ශක්තිමත්, වඩාත් සම්බන්ධිත පර්යේෂණ පරිසර පද්ධතියක් සඳහා අඩිතාලම දමමින් සිටිමු " යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය තාක්ෂණ තක්සේරුකරණ (HTA) ඒකකයක් සහ අභ්‍යන්තර ආචාර ධර්ම සමාලෝචන කමිටුවක් ස්ථාපිත කිරීමට මූලික සැලසුම් මෙහිදී සකස් කෙරිණි. අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සම්බන්ධ කරගැනීම පිලිබඳ  තොරතුරු බෙදා හැරීමට අමාත්‍යාංශය විසින් පියවර ගනු ලබන බවත් ,  ආයතනික වශයෙන් එල්ලවන බාධක සඳහා විසඳුම් ලබා දීමට සමත්  , සිසුන්ගේ නවෝත්පාදනයන්ට සහාය පල කෙරෙන  සහ වෛද්‍ය තාක්‍ෂණය ක්ෂේත්‍රයේ  රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් දිරිමත් කෙරෙන  යෝජනා අමාත්‍යාංශය වෙත ඉදිරපත් කරන ලෙසත්  අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ඉල්ලීමක් කෙරිණි.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි.එල් මොහොමඩ් නවාවි මහතා ඇතුළු අමාත්‍යාංශයේ අනුබද්ධ ආයතන නිලධාරීන්,  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති විද්‍යාජෝති, මහාචාර්ය වජිර දිසානායක මහතා, රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සහ නියෝජිතයින්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නිත්‍ය සිල්වා

ගරු අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම්

Image 1
Image 2
Image 3
Image 4