විද්යා හා තාක්ෂණ අමාත්යාංශය විසින් ඔස්ට්රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්යාලයේ තිරසර සංවර්ධන ප්රතිසංස්කරණය පිළිබඳ මධ්යස්ථානයේ සහය ඇතිව ශ්රී ලංකාවේ පුරවැසි විද්යා (Citizen Science) සංකල්පය ප්රවර්ධනය කිරීම වෙනුවෙන් වූ පියවරක් ලෙස "පුරවැසි විද්යා ඒකකය" (Citizen Science Cell) පිහිටුවීමේ සමාරම්භක උත්සවය විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්රධානත්වයෙන් අද දින (17) පැවැත්විණ.
විද්යාව සහ සමාජය අතර සබඳතාව ශක්තිමත් කිරීමේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන පුරවැසි විද්යා කේන්ද්රය සාමාන්ය ජනතාව තුළ විද්යාව කෙරෙහි උනන්දුව හා කුතුහලය ඇති කිරීමටත්, නවෝත්පාදනය සහ තිරසර සංවර්ධනය සඳහා පොදු වගකීම වර්ධනය කිරීමටත් ඉවහල් වනු ඇත. විදාතා සම්පත් මධ්යස්ථාන ජාලය මුලික කොට ගෙන " පුරවැසි විද්යා ඒකකය " ක්රියාත්මක කිරීමට අමාත්යාංශය සැලසුම් කර ඇත.
ශ්රී ලංකාව වැනි ජෛව විවිධත්වයෙන් පිරි රටක පුරවැසි විද්යා ඒකකය පිහිටුවීම ඉතා වැදගත් පියවරක් වන අතර එය ස්ථාපිත කිරීමෙන් ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා විද්යාත්මක දත්ත රැස් කිරීමේ හැකියාව වර්ධනය වේ. මෙය පරිසර සංරක්ෂණය, ජෛව විවිධත්ව නිරීක්ෂණය, ජල හා වායු ගුණාත්මකභාවය පරික්ෂා කිරීම. වායුගෝලීය වෙනස්වීම (Climate Change) නිරීක්ෂණය වැනි ක්ෂේත්ර ගණනාවක දත්ත රැස් කිරීමට සහ විශ්ලේෂණය කිරීමට මහජන සහභාගිත්වය ලබා ගැනීමට ඉවහල් වේ.
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව විද්යා හා තාක්ෂණ අමාත්යාංශය විසින් විෂය පථය යටතේ, රට තුළ මූළික වශයෙන් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම හා දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන ආපදා තත්වයන් අවම කර ගැනීම සඳහා තාක්ෂණික විසදුම් ලබා දීමට අවශ්ය දත්ත එක් රැස් කර ගැනීම විදාතා සම්පත් මධ්යස්ථාන මූලික කොට ගෙන මේ වන විට සිදු කෙරේ. ඒ සමගම මෙම "පුරවැසි විද්යා ඒකකය " (Citizen Science Cell) සඳහා විද්යාත්මක දත්ත රැස් කිරීම ඇතුළු සෙසු කාර්යයන් ද විදාතා සම්පත් මධ්යස්ථාන ආශ්රිතව ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මෙම උත්සවයේ ප්රධාන දේශනය "පාරිසරික අභියෝගයන් ආමන්ත්රණයේ දී පුරවැසි විද්යාවේ භූමිකාව” (Role of Citizen Science in Addressing Enviromental Challenges) තේමා කරගනිමින් මොරටුව විශ්ව විද්යාලයේ මහාචාර්ය උදේනි නවගමුව මහතා විසින් සිදුකළ අතර, දෙස් විදෙස් විද්වතුන් විසින් කාරක අධ්යයනයන්(Case Studies) ඔස්සේ ඉදිරිපත් කිරීම් කිහිපයක් සිදු කළහ.
මෙම අවස්ථාවට විද්යා හා තාක්ෂණ අමාත්යංශ ලේකම් මොහමඩ් නවවි මහතා, මෙම වැඩසටහනට මුල්ය දායකත්වය ලබා දෙන ඔස්ට්රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්යාලයේ තිරසර සංවර්ධන ප්රතිසංස්කරණය පිළිබඳ මධ්යස්ථානයේ විශේෂඥ ආචාර්ය රන්දිකා ජයසිංහ ඇතුළු ආයතන නියෝජිතයන්, විද්යා හා තාක්ෂණ, පරිසර හා අධ්යාපන යන අමාත්යාංශ නිළධාරීන්, තාක්ෂණික සහයෝගය ලබාදෙන විශ්ව විද්යාල නියෝජිතන්, විදතා නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.












