විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අභිනව ලේකම් ධූරයට පත් කෙරුණු ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය සෙත්සිරිපාය පිහිටි අමාත්‍යාංශයේ දී විද්‍යා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ඉදිරිපිට දී සිය රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළාය.
 
නීතිය පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියක වන ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය ලේකම් ධූරයට පත් කෙරෙන විට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ) තනතුරේ රාජකාරි සිදු කළාය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන ඇය, ඩිජිටල් පරිවර්තන වැඩසටහන් ඇතුළුව ප්‍රධාන නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණ කටයුතු රැසකට නායකත්වය දී තිබේ.
 
ආචාර්ය දිසානායක මහත්මියගේ අන්තර්විෂයීය අධ්‍යාපනික පසුබිම නීතිය, රාජ්‍ය කළමනාකරණය, ජාත්‍යන්තර සබඳතා සහ විද්‍යාව යන ක්ෂේත්‍ර ආවරණය කරන අතර ඇය විසින් ශාස්ත්‍රීය ප්‍රකාශන රැසක් ද රචනා කර තිබේ. පරිපාලන නීතිය, පාරිසරික නීතිය සහ තිරසාර සංවර්ධන පාලනය යන ක්ෂේත්‍ර කෙරෙහි ඇයගේ ශාස්ත්‍රීය අවධානය යොමු වී ඇත.
 
ජාතික සහ ගෝලීය අභියෝග සඳහා විසඳුම් සපයා දෙමින්, ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට සමත් විද්‍යා හා තාක්ෂණ හා නවෝත්පාදන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් නායකත්වය දීමට අභිනව ලේකම්තුමියට අමාත්‍යාංශයේ සුබ පැතුම්