"Clean Sri Lanka" ජාතික වැඩසටහනට සමගාමීව ක්රියාත්මක කෙරෙන ජාතික සුපිලිපන් සතිය වෙනුවෙන්, විද්යා හා තාක්ෂණ අමාත්යාංශය මඟින් සංවිධානය කරනු ලැබූ "වී-ප්රමිති" (V-Pramithi) ජාතික වැඩසටහන දියත් කිරීම විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්රධානත්වයෙන් අද දින (28) පිටකොටුව පොදු වෙළඳපොළ පරිශ්රය කේන්ද්ර කර ගනිමින් ආරම්භ කෙරිණි. පිටකොටුව පොදු වෙළඳපොළේ වෙළඳසැල් වෙත ගොස් වීදි ආහාර, පොල්තෙල්, සෙල්ලම් බඩු, හකුරු පැණි වැනි ආහාර, රූපලාවන්ය ද්රව්ය, කුළු බඩු දුව්ය සහ විදුලි උපකරණ ආදී පාරිභෝගික භණ්ඩවල අහඹු ලෙස සාම්පල ලබා ගැනීමේ විශේෂ වැඩසටහනක් මෙහි දී ක්රියාත්මක කෙරිණි. ඉන් අනතුරුව මෙම පාරිභෝගික භණ්ඩවල ප්රමිතිය හා අන්තර්තය පිළිබඳ තත්ත්ව වාර්තා පරීක්ෂා කිරීමට නියමිතය.
 
ශ්රී ලංකාවේ පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම, උසස් ප්රමිතියෙන් යුතු භණ්ඩ වෙළඳපොළ තුළ සංසරණය වීමට ඉඩ සැලැස්වීම සහ ඒවා සුරක්ෂිතව පාරිභෝගිකයා අතට පත්කිරීම උදෙසා මෙම වැදගත් වැඩසටහන ඉදිරියේදී අඛණ්ඩව ක්රියාත්මක කිරීමට නියමිතය. ඒ සඳහා විශ්වසනීයව හා සෞඛාරක්ෂිතව පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයා දැනුවත් කිරීම සහ ඒ සඳහා ක්රියාත්මක වීමට පෙළඹවීම ඇති කිරීමත් නිසි ප්රමිතියෙන් යුතු තුණාත්මක භාණ්ඩ නිෂ්පාදනයට සහ අලෙවියට ව්යවසායකයා සහ ව්යාපාරිකයා පෙළඹවීමත් යන අංශ දෙකම වැඩි දියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
 
ශ්රී ලංකා ප්රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය සහ ශ්රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය, මේ සඳහා තාක්ෂණික දායකත්වය ලබා දෙන අතර විද්යා හා තාක්ෂණ අමාත්යාංශයේ මෙහෙයවීමෙන් හා සෞඛ්ය අමාත්යාංශය, පොල් සංවර්ධන අධිකාරිය, පාරිභෝගික කටයුතු පිළබඳ අධිකාරිය, ශ්රී ලංකා පොලීසිය ඇතුළු පාර්ශ්ව ගණනාවක සහයෝගීතාවෙන් වැඩසටහන ක්රියාත්මක වේ.

 

 

 

 

 

 

 

විද්යා හා තාක්ෂණ අමාත්යාංශය මඟින් සංවිධාන කරනු ලබන ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ඒකාබද්ධ පර්යේෂණ සහ ඒකාබද්ධ වැඩමුළු වැඩසටහනේ 2024 චක්රය යටතේ පර්යේෂණ 16 ක් සහ වැඩමුළු 22 ක් සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල පරිසර අමාත්යාංශ ශ්රවණාගාරයේ දී ඊයේ දින සිදු කෙරිණි.
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර උසස් පාරිසරික පර්යේෂණ කටයුතු ප්රවර්ධනය කිරීම සහ අන්යෝන්ය දැනුම හුවමාරු කර ගැනීම අරමුණු කරගනිමින් ක්රියාත්මක වන මෙම සුවිශේෂී ද්විපාර්ශ්වික සහයෝගීතා වැඩසටහන රටවල් දෙකටම අතිශය වැදගත් රාජ්ය තාන්ත්රික සන්ධිස්ථානයකි. 2008 සැප්තැම්බර් ආරම්භ වූ ද්විපාර්ශ්වික සහයෝගීතා වැඩසටහන මේ වන විට 5 වන අදියරට පැමිණ තිබේ. අධ්යයන නිමැවුමෙන් ඔබ්බට ගොස්, ශක්තිමත් සහයෝගීතාවක් මත ජාතීන් දෙකම මුහුණ දෙන දැවෙන සමාජීය අභියෝගවලට මුහුණ දී සැබෑ ලෝක භාවිතය සමඟ වාණිජමය වශයෙන් වටිනා නවෝත්පාදනයන් නිෂ්පාදනය කිරීම සහ විද්යාත්මක විශිෂ්ටත්වය සහ ප්රායෝගික බලපෑම කෙරෙහිත් වැඩසටහනේ ප්රමුඛ අවධානය යොමු වේ.
5 වන සහයෝගීතා වැඩසටහන වන 2024 චක්රය තුළින් ආහාර තාක්ෂණය, ශාක පාදක වෛද්ය විද්යාව, මිනුම් විද්යාව, අභ්යවකාශ පර්යේෂණ සහ යෙදුම්, රොබෝ විද්යාව සහ ස්වයංක්රීයකරණය, කාර්මික ඉලෙක්ට්රොනික උපකරණ, පුනර්ජනනීය බලශක්තිය, අපද්රව්ය කළමනාකරණය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන දෙරටටම උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්රමුඛතා ක්ෂේත්ර නවයක් කෙරෙහි ප්රමුඛ අවධානය යොමු කර තිබේ.
මෙම ප්රමුඛතා ක්ෂේත්ර ඹස්සේ පොදු සංවර්ධන අවශ්යතා සපුරාලීම, නවෝත්පාදන ධාරිතාව ශක්තිමත් කිරීම සහ ඉන්දියාව සහ ශ්රී ලංකාව යන දෙකටම වැදගත් වන සමාජීය සහ ආර්ථික ප්රතිලාභ ලබා දෙන පර්යේෂණ ප්රතිඵල ජනනය කිරීම සඳහා හවුල් සහයෝගීතාවක් ක්රියාත්මක කෙරේ.
මෙහි දී අදහස් දැක් වූ විද්යා හා තාක්ෂණ අමාත්යවරයා මෙසේ පැවසීය.
“ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර පවතින ශක්තිමත්, භූගෝලීය හා ඓතිහාසික බැඳීම්වලට අමතරව, තාක්ෂණික වශයෙන් දියුණු අනාගතයක් උදෙසා හවුල් දැක්මකින් අත්වැල් බැදගෙන තිබේ.
අද වන විට ලෝකය දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, මහජන සෞඛ්ය අර්බුද සහ පිරිසිදු බලශක්තියේ අවශ්යතාව වැනි අභියෝගවලට මුහුණ දී තිබේ. එම අභියෝග රටවල්වල මායිම් නොහඳුනයි. මෙම ගැටලුවලට විසඳුම් ලැබෙනුයේ හුදකලා උත්සාහයන්ගෙන් තොරව, ඒකාබද්ධ පර්යේෂණාගාර, බෙදාහදාගත් දැනුම තුළින් ගොඩනැගෙන ඒකාබද්ධ බුද්ධිමය ව්යාපෘති වැනි උත්සාහයන් තුළිනි. බාධාවලින් තොරව දියුණු විද්යාත්මක වි පරිසරයක් ගොඩනැගීමට අප රජය අඛණ්ඩව කැපවී සිටිමු. එබැවින් රාජ්ය සහය සමග ගොඩනැගෙන ඹබගේ නව සොයාගැනීම් මගින් ප්රතිපත්ති තීරණ හැඩගැස්වීමටත්, නව කර්මාන්ත බිහිකිරීමට සහ අප කලාපයේ මිලියන ගණනකගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් මහෝපකාරී වනු ඇත.”
මෙම අවස්ථාවට විද්යා හා තාක්ෂණ අමාත්යාංශ ලේකම් මොහොමඩ් නවවි, ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන උපදේශක සහ චාන්සරි ප්රධානී ආචාර්ය රම්බාබු යන මහත්වරුන්, මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඇතුළු ප්රධාන ඇගයීම් කමිටු සාමාජිකයින්, විශ්වවිද්යාල උප කුලපතිවරුන්, රාජ්ය නිලධාරීන්, විද්යාඥයින්, පර්යේෂකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ

 

 

 

 

 

 

 

 

 

 

"සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්රී ලංකාවක්" උදෙසා ජාතික සුපිලිපන් සතියේ සමාරම්භය සනිටුහන් කරමින් අද දින (27) විද්යා හා තාක්ෂණ අමාත්යාංශයේ ලේකම් මහේෂ් ගම්මම්පිල මහතා ප්රමුඛ අමාත්යාංශ කාර්ය මණ්ඩලය ජාතික සුපිළිපන් දිවුරුම / ප්රතිඥාව ලබා දීමට එක් වූ අවස්ථාව

 

 

 

 

 

 

 

 

 

 

ගම්පහ දිස්ත්රික් සෞඛ්ය කමිටුවේ සභාපති, විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ මැදිහත්වීමෙන් හා මග පෙන්වීමෙන්, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ (ACCIMT) තාක්ෂණික සහයෝගයෙන් රාගම රක්තවාතවේද හා පුනරුත්ථාපන රෝහලේ අත්යාවශ්ය වෛද්ය උපකරණ හා යන්ත්ර සුත්ර ඇතුළු තාක්ෂණික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කෙරිණි. එම වැඩසටහන යටතේ අලුත්වැඩියා කරන ලද, නවීකරණය කරන ලද සහ ප්රතිනිර්මාණය කරන ලද උපකරණවල පළමු උපකරණ තොගය රෝහල වෙත නිල වශයෙන් බාරදීම අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා එම රෝහලේ දී සිදු කෙරිණි.
ගම්පහ දිස්ත්රික් සෞඛ්ය කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතා මෙම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ මේ පිළිබඳව අමාත්යවරයාගේ අවධානය යොමු වූ අතර ඔහුගේ ඉල්ලීම පරිදි ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් මෙම කාර්යය සඳහා ඉදිරිපත් වූහ.
මෙම උපකරණ අතරට IR Timers with Power Supply, Industrial Ovens, Patient Standing Aid Units, Multimonitor, Grinder Machine Control Panels, Power unit of a Tilting Bed, Tilting Bed Controller, Heat Gun, Rotary Tool ආදිය ඇතුළත් වේ. මෙම උපකරණ සියල්ල අලුත්වැඩියා කටයුතු සඳහා නියමිතව තිබූ අතර ඒ සඳහා සමහර උපකරණ සඳහා ඉතා ඉහල ඇස්තමේන්තු ඉදිරිපත් වී තිබීමත්, තවත් සමහර උපකරණවල නිෂ්පාදන සමාගම් මේ වන විට ක්රියාත්මක නොවීම මෙන්ම ඒ සඳහා සක්යතාවක් ඇති දේශීය ආයතන නොමැතිවීමත් හේතුවෙන් අලුත්වැඩියාවන් පමා වී දීර්ඝ කාලයක පටන් ඒවා භාවිතයෙන් ඉවත් කර තිබුණි.
මෙහි විශේෂත්වය වන්නේ ආසන්න වශයෙන් රුපියල් මිලියන 3 ක (3,000,000.00) පමණ වටිනාකමකින් යුත් භාවිතයෙන් ඉවත් කර තිබූ මෙම තාක්ෂණික උපකරණ ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන්ගේ විශේෂඥ දැනුම මත රුපියල් පන්දහසකටත් (රු.5000.00) අඩු මුදලකින් සාර්ථකව අලුත්වැඩියා කර තිබීමයි. මේ සඳහා අදාළ ඉංජිනේරුවන් ඉදිරිපත් නොවූයේ නම් මෙම උපකරණ ස්ථිරවම භාවිතයෙන් ඉවත් වීමට ඉඩ තිබිණි.
මෙම අවස්ථාවට ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න, අධ්යක්ෂ ජනරාල් කුමාරි මීගහකොටුව යන මහත්ම මහත්මීන් ඇතුළු ඉංජිනේරුවන්, විද්යා හා තාක්ෂණ අමාත්යාංශයේ අධ්යක්ෂ (සැලසුම්) ආචාර්ය ප්රභාත් අබේසිරිවර්ධන යන පිරිස එක් විය.